ණන ළල භේදය

පසු ගිය දවස් වල විවිධ බ්ලොග් අඩවි කීපයක් තුල මා දුටු තර්කයකි සිංහල භාෂාවට ණන ළල භේදය අනවශ්‍ය බව. නමුත් මාගේ පුද්ගලික අදහසනම් අනිවාර්යයෙන් ණන ළල භේදය තිබිය යුතු බවයි. හේතුව වන්නේ මෙම භේදය සිංහල භාෂාව හොඳින් උගත් අයෙකුටනම් ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් ලංකාවේ සියල්ලන්ම (සිංහල භාෂාව භාවිතා කරන) හොඳින් සිංහල ඉගෙන ගත් අය නොවේ. මා දැක ඇති පරිදි ලංකාවේ සාක්ශරතාවය සියයට අනූ ගණනක් වන නමුත් හරියාකාරව සිංහල ලිවීමට කියවීමට දන්නා ප්‍රමාණය සෑහෙන්න අඩුය. එමෙන්ම අලුතින් සිංහල ඉගෙන ගන්නා කෙනෙකුට නම් අක්ෂර වින්‍යාසයක් නොතිබීම බොහෝ වෙලාවට ප්‍රශ්නයක් වනු අනිවාර්යයි. මොකද ඔවුන් සිංහල භාෂාවත් සමග සිංහල අක්ෂර මාලාවත් ඉගෙන ගන්නා නිසයි.

අනෙක භෂාව පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව භාවිතා කිරීමට පහසුය. කවර විෂයක් වුවත්, ඒ පිළිබඳව අදහස් දැක්වීමේදී මාධ්‍යයක් වශයෙන් කවරදාකවත් සිංහල භාෂාව දුබලතාවයක් නොදැක්වූ අතර දැනුදු නොදක්වයි. සිංහල වර්ණ මාලාව ඒ තරම් ශක්තිමත් වේ. අදහසක් දැක්වීමේදී ඒ සඳහා යෙදුමක් නැතිනම් එය අලුතෙන් නිර්මාණය කර ගැනිමට තරම් ශක්තියක් සිංහල භාෂාවට ඇත. එමගින් යමකු විසින් ලියන ලද දෙයක් තවත් අයෙකු කියවීමේදී ලැබිය යුතු අදහස වඩාත් පරිපූර්ණ වනු ඇත.

එය ගැන බලන්න
එය ගැණ බලන්න

මෙම වාක්‍යය දෙක කියවන විට ඇති වන හැඟීම කෙසේද? පළමු වාක්‍යය ඒ පිළිබඳව බලන්න යන අර්ථයත්, දෙවන වාක්‍යය එය ගණන් කර බලන්න යන අර්ථයත් දෙයි. මේ නිකම් උදාහරණයක් පමණි. භාෂාව හැකිතාක් පුළුල්ව තිබෙන තරමට එය වඩාත් නිර්මාණාත්මකව, තියුණුව භාවිතා කල හැක.

අවශය අයෙකුට බස තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කර භාවිතා කළ හැක. ඒ භාෂාව සම්බන්ධයෙන් ඇත්තේ රීති මාලාවක් මිස නීති මාලාවක් නොවන බැවිනි. නමුත් ඒ සඳහා සම්පූර්ණ භාෂාවම වෙනස් කළ යුතුයැයි කියන්නේ නම් එය පිළිගත නොහැක. සිංහල බස අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ වෙනස් වෙමින් අලුත් වෙමින් සැදී ඇත්තේ වඩාත් පරිපූර්ණවය. යමෙකුට සම්පූර්ණ සිංහල බස ඉගෙන ගැනීමට බැරිනම් එය ඔහුගේ වරදක් මිස භාෂාවේ වරදක් නොවේ. එයට භාෂාව නොව ඔහු වෙනස් විය යුතුය යනු මගේ මතයයි.

6 ප්‍රතිචාර:

ඔබ හා එකඟ වෙමි. ඔබ සඳහන් කල ආකාරයේ භාෂා රීති වෙනස් කිරීමේ අදහස් සහිත බ්ලොග් සටහනක් මමද දුටුවෙමි. එය අවශ්‍ය දෙයකැයි කිව නොහැක. න,ණ,ල,ළ භාවිතයේදී සමහර අවස්ථාවලදී කුමක් භාවිතා කල යුතුද යන්න ගැන දුෂ්කරතා මටද ඇතිවේ. නමුත් පහසුව තකා එම රීතිය ඉවත්කිරීම කලහොත් දැන් අපේ කතාකිරීමේ භාෂාවට වී ඇති පරිහානිය ලිවීමේදීද ඇතිවිය හැකිය.
භාෂාවක් සදාකල්හිම ඒකාකාරී නොවිය යුතු බව සැබෑය. එය කාලානුරූපව වෙනස් විය යුතුය. භාවිතය පහසු විය යුතුය. නමුත් ඒ වෙනස භාෂාවේ උන්නතියට මිස පරිහාණියට හේතු නොවන්නක් විය යුතුය.
සිංහල බ්ලොග් ඇසුරෙන් මා නිරීක්ෂණය කල කරුණක් නම්, න,ණ,ල,ළ භාවිතය නොසලකා හැරීමේ අදහසට බහුතරය විරුද්ධ බවයි. සත්තකින්ම එය සිංහල භාෂාවට සුභ ලකුණකි.

March 11, 2009 at 8:32 AM  

මමත් කියන්නේ ඔය නීති රීති තියෙන්න ඕනේ. මමනම් ලියනකොට ඕවා සලකන්නේ නැහැ මොකෝ මන් දන්නේ නැති නිසා .

March 11, 2009 at 9:56 AM  

ඔබ හරිට ම හරි අමල්. මා සංගීතය විධිමත් ලෙස නොහැදෑරු බැවින් කිසියම් සංගීත කණ්ඩයක සප්ත ස්වර එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට මගේ කනට නොහැකි ය. එය මගේ අසමත් කමෙකි. එහෙත් සංගීතය විධිමත් ලෙස හැදෑරූ අයෙකුට එය කජු කන්නාක් මෙන් පහසු වැඩෙකි.

දැන් මා කළ යුත්තේ කුමක් ද? මගේ සංගීත ඥානය වර්ධනය කරගැනීම ද? නැතිනම් සංගීතයට සප්ත ස්වරය අනවශ්‍යයි කියා බෑඟිරි තැලීම ද? සිංහලයේ නණ ලළ භේදය ගැන මට කීමට ඇත්තේ ද එපමණකි.

March 11, 2009 at 4:55 PM  

ඔයාල ඔය කියන සටහනට මම දාපු පිළිතුර මෙතනටත් අදාලයි. :D

මේ නණ ලළ ගැන කාලයක ඉඳන් තර්ක තියෙනවා. නමුත් කවුරුවත් ඒව යෙදෙන විධිය ගැන කියන්න දන්නෙ නෑ. අපේ සිංහල පාඩම් පොත් වල අහලකවත් තිබුණෙ නෑ. නමුත් මගේ වැඩිහිටි මිතුරෙක් වරක් කිව්වා මේ භේදය ඇතිවෙන්නෙ ඒ අක්ෂරය කියවෙද්දි දිව සහ උඩු තල්ල අතර ස්පර්ශය ඇති වෙන විධියට කියල. ඒ විධියට බැලුවම නම් ශබ්දානුකූල වෙනසක් තියෙනව. න කියද්දි දිව නැමෙන විධිය ණ කියද්දි නැමෙන විධියට වඩා වෙනස්. මේ ගැන ජේ. බී. දිසානායක මහත්මයගෙ පොතක් තියෙනව කියලත් කිව්වා.

නණ ලළ කියන්නෙ අර්ථය වඩා පැහැදිලි කරගැනීම සඳහා පුරාණයේ ඉඳන් පැවතෙන්නක්. ඒ වුණාට ඒක භාවිතා කරන විධිය පරම්පරා අතර සංක්‍රමණය වෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑ.

අපි මේ ගැන කතා කරනව. ඔබ කියන විධියට බොහෝ දෙනෙක් ණන ළල තියෙනවට එකඟයිනේ. නමුත් ඒ එයාල ඒ ගැන දන්න නිසා නෙවෙයි. පුරුද්දෙන් ගැලවෙන්න බැරි නිසා. මොකද ණන ළල අනවශ්‍යයි කියල සම්මත වුණොත් ලියන ඒන ගොඩක් වරදිනවනේ. කොහොම වුණත් තව පරම්පරා කීපයක් යද්දි ණන ළල කියන ඒව නැති වෙන්න ඉඩ තියෙනව. අනික දැන් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය තත්ත්වයේදි වුණත් භාවිතා වෙන නිසා තවකාලෙකදි සිංහල වලට මොනා වෙයිද? අපි නොදන්න නිසා සිංහලෙන් ලියනව. ලංකාවෙ ඉන්න අඛණ්ඩ ඉංග්‍රීසි බ්ලොග්කරුවො සිංහල අයට වඩා තාමත් වැඩියි මං හිතන්නෙ.

ඇත්තටම කිව්වොත් මමත් ලියද්දි ඕක ගැන වැඩිය හිතන්නෙ නෑ. මොකද තාමත් කියවන අය මේ කියන්නෙ මොකක්ද කියල නණ ලළ කෙසේ තිබුණත් කියවනව. අනික එදිනෙදා භාවිතයට අපි හුරු වෙලා ඉන්නෙත් එහෙමනේ. කොහොම වුණත් සිංහලය විධිමත් විය යුතුයි කියන එකට නම් මම එකඟයි. අපේ font master අකුරු නිර්මාණය කරපු පුෂ්පානන්ද ඒකනායක මහත්මය සිංහල අක්ෂර දෝෂ සොයනයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘත්යක හිටියා. ඒක ආවොත් නම් ෂේප් ;)

March 11, 2009 at 6:55 PM  

අපි නණ ලළ භේදයට හුරු වෙලා ඒකයි වෙලා තියෙන්නේ.. දැන් අපිට ඒකෙන් මිදෙන්න බෑ අමාරුයි.. මම ලියනගේ අමරකීර්ති මහතාගේ අටවක පුත්තු පොත කියවද්දි තමයි මම දැනගත්තේ ලංකාවේ ඒ විදියේ ලිවීමේ රටාවකුත් ඇතිවෙමින් පවතින බව. මමත් හරියටම රීතී නොදන්නවා උනාට ලියද්දි හැකි තරම් භාවිතා කරන්න උත්සහ කරනවා. මොකද ලියන වෙලාවට ඒක ගාණක් නැති වුනාට කියවන අයට ඒක අපහසුවක් වෙන්න පුළුවන්.

March 11, 2009 at 9:02 PM  

මේ මම හිතන්නෙ මම ලියපු බ්ලොග් එකට අමල් සහෝදරයාගෙන් ආ ප්‍රතිචාරයක්.ණ,ළ ඉවත් කිරීමට බොහෝවිට විරෝධතාවය එන්නෙ අර කිව්ව වගේ ඒක පුරුද්දට ගිහින් නිසා.එහෙම නැතිව ඒ පුරුද්දේ අවශ්‍යතාවය ගැන විශාල අවධානයක් යොමු කරල නෙමෙයි.අමල් දක්වන උදාහරනයේ සංදිග්ධබවක් තියනවා කියන එක පිලිගන්න ඕන.(මෙය ගැන/ගැණ බලන්න)නමුත් හිතල බලන්න ඔය වගේ වාක්‍ය හමුවෙන්නෙ කොයිතරම් කලාතුරකින්ද?
සැසදීම එතරම්ම සාධාරන නොවිය හැකි වුනත් ඉංග්‍රිසි වගේ ඉතාම ව්‍යාප්ත වුන භාෂාවකත් ඔවැනි තත්ව ඉදහිට මතුවෙනවා.
නිද-Race කියන පදයට ධාවන තරගය,ජාතිය කියන අර්ථ දෙකම දෙන්න පුලුවන්.
I like susanthika's race
එතකොට මේ වාක්‍යයෙන් අර්ථ දෙකක් මතුවෙනවා.(මම සුසන්තිකාගේ ජාතියට කැමතියි/සුසන්තිකාගේ ධාවන තරගයට කැමතියි යනුවෙන්)
අර්ථයේ වෙනසක් වෙන නිසා ධාවන තරගය race එක විදිහකටත් ජාතිය race වෙන විදිහකටත් ඔවුන් ලියන්නේ නැහැ.හේතුව ඔවැනි සංදිග්ධ අවස්ථා මතුවෙන්නෙ ඉතාම ඉතාම කලාතුරකින් නිසා.
ණ,ළ වෙනුවෙන් තර්ක කල අය පවා පිලිගත් දෙයක් තමයි ඒවා යොදන්නේ කොහොමද කියන එක ගැන ඔවුනුත් අපහසුතාවට ලක්වෙනවා කියන එක.මෙහෙම භේදයක් තිබීම භාෂා පන්ඩිතයන්ට රෑ එලිවෙනතුරු තර්ක විතර්ක කරන්න පසුබිමකුත් සපයනවා.මොකද පැහැදිලි නැති බෙදීමකට පොදු පිලිගැනීමක් හදා ගැනීම දුෂ්කරයි.අපි වචනයක් උච්චාරනය කරන විදිහටයි ලේඛනය සකස් වෙන්න ඕනෙ.එහෙම නැතිව ලේඛනයේ කෘතිමව යෙදූ ආකාරය බලාගෙන ඊට අනුව උච්චාරනය කරන්නට යාම විකාරයක්.
සිංහල උච්චාරනයේදී ප්‍රායෝගිකව න/ළ භේදයක් දකින්නට නැහැ.මාලදිවයින් දිවෙහි බසේ නම් එහෙම භේදයක් තිබෙනවා.එම බෙදීම දිවෙහි බසට අදාල උනත් සිංහල බසට අදාල නැහැ.
(බලන්න - නව ලේඛන රීතිය.අජිත් තිලකසේන පිටු 40)
ණ/ළ විතරක් නෙමෙයි ෂ,ශ බෙදීමත් මෙහෙම අවධානයට ලක්විය යුතු කරුනක්.අපිව පොඩි කාලේ ඉදල පුරුදු කරල තියෙන්නෙ මේ භේදයන් හරි කියල හිතන්න උනාට පිට ඉදන් බලන කෙනෙක්ට වහාම මේ විභේදනයන්ගේ අපැහැදිලිකම පෙනෙනවා.
2001 ජාතික ග්‍රන්ථ සංවර්ධන මන්ඩලය ප්‍රකාශයට පත් කල සිංහලයේ අක්ෂර වින්‍යාසය(අත්පොත)හි මේ නිසාම මූර්ධජ අක්ෂර අර්ධ වශයෙන්(සියල්ල එක්වර ඉවත් කිරීම තරම් නිර්භය පියවරක් නොගෙන)අයින් කොට තිබෙනවා.ඒ කියන්නෙ මූර්ධජ යෙදීම සංස්කෘත/පාලි වලින් සිංහලයට ආ වචන වලට පමනක් සීමා කරල තිබෙනවා.ඒ අනුව කන්නාඩිය,මාලිගාව යනුවෙන් ලිවීම නිවැරදියි.
(අ.තිලකසේන-නව ලේඛන රීතිය පිටු27)
මම යෝජනා කරන්නෙ -මලීත් කියවුවා යැයි කියන-අටවක පුත්තු වගේ කෘතියක් අරන් කියවලා බලන්න.මලී අපිට කියන්න ණ/ළ නොතිබිම නිසා අර්ථයෙහි ගැටලුවක් මතු වුනාද කියල.ඒ නිසා ඇත්තටම ණ/ළ ඉවත් කිරීම කියන යකා බොහෝ දෙනා හිතන විදිහට කලු නැහැ.ඇත්තෙන්ම ඌ යකෙකුත් නෙමෙයි.

ප.ලි-අජිත් තිලකසේන මහතා‍ගේ කෘතියෙහි නම හා පිටු අංක යෙදුවේ එහි උදාහරන එතුමාගේ වන නිසා සහ අධ්‍යනය කිරීමට කැමති අයෙකුට උදවුවක් වශයෙන්

March 11, 2009 at 11:44 PM  

Newer Post Older Post Home