මගේ කියවීම + ජමීලා

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවතුනේ ගිය මාසේ, වෙනත් අවශ්‍යතාවයන් කීපයක් සඳහා කොළඹට පැමිණියත් ප්‍රදර්ශනය පැත්තේ නම් යන්න බැරිවුනා. පොඩි කාලේ නම් කොළඔ ආවොත් තාත්තා අනිවාර්යයෙන්ම මොකක් හරි පොතක් අරන් දෙනවා . පොත් ප්‍රදර්ශනයෙන් ම විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට ගුණසේන එකෙන්. මේ පාරත් මම කොළඹ යන බව දැනගත් වෙලාවෙත් ඔහු “ පුතේ පොත් ප්‍රදර්ශනය පැත්තේ පොඩ්ඩක් ගිහින් වරෙන් එන ගමන්” යැයි කීවේ අපි දෙන්නම එකලෙස පොත් වලට ඇලුම් කරන බැවිනි.

පොඩි කාලේ සිට මට තිබ්බ පුරුද්දක් තමයි අතට අහුවන ඕනම දෙයක් කියවන එක. බත් ඔතං ආපු පත්තර කොලේ පවා. බත් එක කන්නේ නැතිව ඒක කියවනවා කියලා ඔෆිස් එකේ යාළුවෝපවා ඒ දවස් වල බැන්නා. කොහොම වුනත් පොත් කියවීමේ පුරුද්ද මට මග ඇරුනේ උසස් පෙල කරන කාලේදි. අධ්‍යාපනයට බරවෙලා හිටිය හින්දා නෙවෙයි. කොහොම හරි ඒ පුරුද්ද සැහෙන්ට ම මග හැරිලා ගියා. මම 5 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ ඉවර කරලා ගෙදර සිටිය කාලය තුල කියවපු තරම් පොත් ප්‍රමාණය හිතුවොත් එතැන් සිට ගත වුනු පසුගිය අවුරුදු 10ක කාලය තුල ඒ පොත් මිටියෙන් 10න් 1ක්වත් පොත් කියවන්න නැතුව ඇති.

කොහොම හරි මේ මාසේ 3 වෙනිදා ඉඳලා නාවලපිටිය නගර සභා ශා‍ලාවේදී පොත් ප්‍රදර්ශනයක් ආරම්භ කලා. නිවාඩු වෙලාවක් බලලා ගියේ හොඳ පොතක් තිබුනොත් ගන්නම් කියලා. පොත් සැහෙන්න ප්‍රමාණයක් තිබුනත් පරිවර්තන වලට තියෙන කැමැත්ත නිසා මං බැලුවේ පරිවර්තන විතරයි. ඒ අතර තිබු පොත් ගොඩක් මං ගාව තියෙන ඒවා ( මං ගාව කීවට තාත්තා ගාව.අපේ ගෙදර තියෙන සියළුම පොත් වල අයිතිකාරයා තාත්තා). ඒ වගෙම පරණ රුසියන් පරිවර්තන රාශියක් නව මුද්‍රණයන් විදිහට එලි දක්වලා තිබ්බා. හැබැයි රුසියාවේ ප්‍රගති ප්‍රකාශන වලට හරි රාදුගා ප්‍රකාශන වලට හරි ලගින්වත් තියන්න පුළුවන් තරමේ මුද්‍රණ තත්වයක් ඒ පොත් වල දැක්කේ නෑ. එක පොතක් මුද්‍රණය කරලා තිබ්බේ කෙලින්ම ස්කෑන් කරලා. ඒක එහෙම්ම මුද්‍රණයට අරගෙන තිබ්බා.

මං හොයලා හොයලා ගත්තා පොත් හතරක් විතර මට. ඒ හැම එකක්ම කලින් කියවලා තිබ්බත් දැන් ඒ පොත් මා ගාව නෑ. යාළුවන්ට කියවන්න දීලා ඒ පොත් ඔවුන් සදහටම අයිති කරගෙන. එහෙම දුන්න පොතක් මං තාමත් හොයනවා “ තෙවන ඇස” කියලා ටිබෙට් කථාවක්. ටී. ලොබ්සාං රම්පා කියලා කෙනෙක් ලියපු එකක්. පරිවර්ථකගේ නම මතක නෑ. ඒ පොත නැති වුනේ 10 වසරෙදි. ගත්ත පොත් වල නම් තමයි “ජමීලා” “හරි පුදුම ඉස්කොලේ” “සැබෑ මිනිසකුගේ කථාවක්” සහ “රතු සෙබලිය” .

මේ පොත් වලින් තාම කියවන්න පළ්‍රවන් වුනේ ජමීලා විතරයි. ඒ පොත කෙටි නව කථා දෙකකින් සමන්විතයි. දෙකම චින්ගීස් අයිත්මාතව් නැමති ලේඛකයා ලියපු කථා. ඔහු ගැන ලංකාවේ ගොඩාක් අය නම් දන්නේ “ගුරු ගීතය” පොතෙන්. මේ පොත් දෙකම පරිවර්තනය කරලා තියෙන්නේ දැදිගම වී රුද්‍රිගෝ. මං දන්න ලස්සනටම පොත් පරිවර්තනය කරපු අයගෙන් කෙනෙක්. අනිවාර්යයෙන්ම රුසියන් සාහිත්‍ය ලංකාව තුල ප්‍රචලිත වෙන්න ඔහු එක සාධකයක්. ඒ තරම් කෘතහස්ත පරිවර්තකයෙක්.

ජමීලා පොතේ මගේ සිත් ගත් කොටස් කිහිපයක් මට සටහන් තබන්න සිතුනා. මේ සටහන පවා ලියන්න ගත්තේ ඒ නිසයි. මුළ්‍ර කථාවම මේ ඡේද කිහිපයෙන් ප්‍රකාශ වෙනවා කියලා මම හිතනවා.

“මොර සූරන වැස්ස ඇරඹිනි. පිදුරු ගොඩක් මත වැතිර සිටි මාගේ හදවත ගැහෙන සැටි මට දැනුණි. මා ප්‍රීතියෙනි. රෝගීව බොහෝ කාලයක් තිස්සේ ගෙයි මුල්ලට වී සිටි යමෙක් පළමු වරට හිරු එළිය බැලීමට ආවාක් මෙන් විය. වැස්ස හා විදුලි කෙටීම නිසා පිදුරු ගොඩ තුලට වැදුනද මා සතුටුනි. මා නිදා ගත්තේ මද සිනහා පාමිනි. මට ඇසෙන ශබ්ද දනියාර්ගේ හා ජමීලාගේ කෙඳිරීම්ද නැතිනම් වැහි බින්දු පිදුරු වලට වැටෙන විට ඇති වන ශබ්දයද යන්න මට අවබෝධ නොවිනි.

වැසි කාලය ඇරඹී ඉක්මනින්ම වස්සාන ඍතුව පැමිණෙනු ඇත. සටෙප්ස් තණ කොළවල හා පිදුරු වල නැවුම් සුවඳ දසත පැතිර ගියේය. වස්සාන ඍතුවෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒගැන යම් කිසි හේතුවක් නිසා මම නොසිතමි…..”


“ පලයන්… හැදී වැඩිලා දැන් පියාපත් සොලවනවා…

නුඹලා බොහෝ ඉහලින් පියාසර කරාවිදැයි අප දන්නේ කොහොමද?

නුඹලා ඇත්ත යුක්තිය අනුව වැඩ කරනවා වෙන්ට පුළ්‍රවනි. පලයන්… ගිය පසු අදහස වෙනස් කරන්ට පුළුවනි. පින්තූර ඇඳීම, තීන්ත ගෑම හොඳ රස්සාවක් නෙවී….

ඉගෙන ගනින් එතකොට තේරුම් ගනීවී…

නුඹේ ගෙය අමතක කරන්න එපා……”


“ඹබ දැන් කිනම් මගක් ඔස්සේ ගමන් කරන්නෙහිද? ස්ටෙප්ස් බිම හරහා දැන් මාර්ග බොහොමයකි. අල්තායි හා සයිබීරියාව දක්වාත් අළුත් මංමාවත් විශාල ගණනකි. නිර්භය බොහෝ දෙනා එහි වැඩ කරති. ඔබ එහි ගියෙහිද…? මගේ ජමීලා ආපසු නොහැරී නොබලාම පිටවී ගියාය. ජමීලා ! දැන් ඔබ සමහර විට විඩා පත්වී හෝ අඩුවූ ආත්ම විශ්වාසයකින් පසු වන්නෙහිද..? එසේ නම් දනියාර්ගේ උර මත හිස තබා ගන්න. ආලය මහපොළව සහ ජීවිතය ගැන ගී ගයන ලෙස දනියාර්ට කියන්න.! ස්ටෙප්ස් බිම විවිධ වර්ණවලින් බැබළුණාවේ ! එවිට ඔබට අගෝස්තු රාත්‍රිය මතක් වේවා ! ජමීලා ඉදිරියට යන්න. කණගාටු නොවන්න. ඔබ අසීරු භාග්‍යයක් සොයා ගත්තෙහිය……”

Jamila

ජමීලා

චින්ගීස් අයිත්මාතව්

පරිවර්තනය- දැදිගම වී රුද්‍රිගු

2 ප්‍රතිචාර:

සටහන බැලුවහම තාමත් සාහිත්‍ය රස වින්දනය තියෙන අය ඉන්නවා නේද ජා‍ලයෙත් කියලා සතුටු හිතුණා.. විශේෂයෙන් කාලයක ජනප්‍රියම සාහිත්‍ය නැවත නැවත කියවෙන බව දුටුවාම.. සහෘදයෙක් මුණ ගැහුණා වගේ හැඟීමක් දැනුණා....

මටත් ඔය කියන පොත් තිබුණා.. ජමීලා නම් නැවත නැවත මුද්‍රණය වුණා.."ජමීලා" සහ "ගුරු ගීතය" එකටම මුද්‍රණය වූ පොත්..මං මුලින් ගුරු ගීතය කියෙව්‍වේ පාසල් යන කොට. එතකොට මොන හේතුවක් නිසා හෝ එයත් අර තහනම් පොත් ගොන්නට ඇතුළු වෙලා තිබුණාද මන්දා වෙළඳපොලේ තිබුණෙම නෑ. මිතුරෙක් හොරෙන් වගේ හංගාගෙන එයාගේ ‍පොත ගෙනත් දුන්නා.. මං මේ පාර නංගාගෙ ගුරුතුමියට ගුරු උපහාර දිනයට දෙන්න කියා ගුරු ගීතයකුත් අරන් දුන්නා.. එයා ළදරු පාසල් යන කොට එයාගෙ ගුරුතුමියට දෙන්න කියලා "හරි පුදුම ස්කෝලෙ" අරන් දුන්නා..

ලොබ්සාං රම්පාගෙ "තෙවෙනි ඇහැ" ‍පොත කාලෙකට ඉස්සර කොළඹ මහජන පුස්තකාලෙ එකම එක පරණ පොතක් විදිහට තිබුණා‍..ඒක කියවලා ආසවෙලා මං ගත් ‍පොත යාලුවෙක් වැඩි පරිස්සමට එයාලගෙ ගෙදර ගෙනිහින්.. ආයෙ ලැබෙන්නේ නෑ.

හෝඩුවාවක් ලැබුණොත් ගන්න තැනක් කියන්නම්.

සටහනට ස්තූතියි.. මටත් මගේ පොත් කියවීමේ "පරණ" පුරුද්ද මතක් වුණා.

October 24, 2008 at 10:03 AM  

මමත් හරි ආස පොතක්වගේම හරි ආස කරන රචකයෙක්. ඒ වගේම පරිවර්තනය කරපු දැදිගම වී . රුද්‍රීගූ මහත්තය අති දක්ෂ කෙනෙක්. එතුමා මුල් කෘතිය රුසියන් බසින් තමා පරිවර්තනය කරන්නෙ. එතුමා රුසියාවෙ ජීවත් වෙලා ඒ රටේදිම මිය ගියා

October 24, 2008 at 8:07 PM  

Newer Post Older Post Home